සභාපතිවරයාගේ සමාලෝචනය

““අපගේ වටිනා කොටස් හිමියන්ට සළකා බලන ලද කාල පරිච්ඡේදය තුළ තම සමාගමේ කාර්යසාධනය පිළිබඳව සතුටු වීමට සෑම හේතුවක්ම තිබේ. ඒ එය දුර්වල ආර්ථික පසුබිමකට එරෙහි දැඩි සටනකින් ලද ජයග්‍රහණයක් නිසාවෙනි…..

2018/19 මූල්‍ය වර්ෂය සඳහා සිංගර් ෆයිනෑන්ස් (ලංකා) පීඑල්සී හි වාර්ෂික වාර්තාව සහ විගණනය කරන ලද මූල්‍ය කටයුතු ඔබ ඉදිරියේ තැබීමට ලැබීම මට මහත් සතුටකි. අපගේ වටිනා කොටස් හිමියන්ට සළකා බලන ලද කාල පරිච්ඡේදය තුළ තම සමාගමේ කාර්යසාධනය පිළිබඳව සතුටු වීමට සෑම හේතුවක්ම තිබේ. ඒ එය වසරේ අග භාගයේදී අවිනිශ්චිත වාතාවරණයක් ඇති වීමට හේතු වුණු දුර්වල ආර්ථික පසුබිමකට එරෙහි දැඩි සටනකින් ලද ජයග්‍රහණයක් නිසාවෙනි. වසරේ ගමන්මග විශේෂයෙන් ම දුෂ්කර වූයේ ණය දීම සහ අවදානම් වළක්වා ගැනීම අතර නිවැරදි සමතුලිතතාව පවත්වා ගන්නට අපට සිදු වූ බැවිනි. කෙසේ වෙතත්, සිංගර් ෆයිනෑන්ස් හි ප්‍රවීණ කණ්ඩායම එම කාර්යයට වඩා වැඩි යමක් කළ අතර, ප්‍රශස්ත සමතුලිතතාවයක් සාර්ථකව පවත්වා ගෙන යාම සිංගර් ෆයිනෑන්ස් පීඑල්සී හි කාර්ය සාධනය ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා ඉහළින් පැවතීමට හේතු විය. අවාසනාවකට මෙන්, වඩාත් වැඩි වර්ධනයක් සඳහා අවශ්‍ය සහාය මන්දගාමී ආර්ථික වර්ධනය තුළින් සැපයුණේ නැත.

ආර්ථික කාර්ය සාධනය

සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළදී, සැබෑ ආර්ථික කාර්ය සාධනය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හේතු ගණනාවක් නිසා අපේක්ෂාවන්ට වඩා පහත වැටී ඇත. ආර්ථිකයේ වර්ධන වේගය අඩපණ වී තිබීම බොහෝ අංශ කෙරෙහි යම් බලපෑමක් ඇති කළේය. ශ්‍රී ලංකාව 2017 දී වාර්තා කළ සියයට 3.4 ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයට සාපේක්ෂව 2018 දී වාර්තා කරන ලද්දේ සියයට 3.2 ක වර්ධනයකි. කෘෂිකර්මාන්තය පෙර වර්ෂයේ අත්විඳින ලද කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමෙන් යථා තත්ත්වයට පත් වෙමින් 4.8% ක වර්ධනයක් ලබා දුන්නද, ඉදිකිරීම් හා ආශ්‍රිත ක්ෂේත්‍රවල හැකිලීම හේතුවෙන් කර්මාන්ත කටයුතු පසුගිය වසරේදී 4.1% සිට 0.9% දක්වා සැලකිය යුතු වෙනසකට භාජනය විය. සේවා අංශයේ වර්ධනය සඳහා ප්‍රධාන දායකත්වය ලබා දී ඇත්තේ මූල්‍ය සේවාවන් විසින් වන අතර එය පෙර වසරේ සියයට 3.6 ක ව්‍යාප්තියට සාපේක්ෂව 2018 දී සියයට 4.7 ක් දක්වා වර්ධනය විය. කෙසේ වෙතත්, ආර්ථික පසුබෑම හේතුවෙන් ආයෝජකයන්ගේ උනන්දුව තවදුරටත් දුර්වල ව පැවති අතර දේශීය හා ගෝලීය පෙරමුණු වල අහිතකර වර්ධනයන් හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) තවත් දුර්වල ක්‍රියාකාරීත්වයේ වසරක් වාර්තා කළේය.

මූල්‍ය අංශයේ කාර්ය සාධනය

2018 දී සමස්ත මූල්‍ය අංශය අඛණ්ඩව ව්‍යාප්ත වුණු නමුත් වර්ෂය තුළ ඇති වූ ණය වර්ධනයේ හා ලාභදායීතාවේ පහත වැටීමත් සමඟ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (LFC) සහ විශේෂිත ලීසිං සමාගම් (SLC) යන අංශවල වර්ධනය 2018 දී මන්දගාමී විය. මෝටර් රථ ආනයනය කිරීම හා වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීම සීමා කිරීමට ගනු ලැබූ මෑත කාලීන මූල්‍ය හා සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම අංශයේ ණය ක්‍රියාකාරකම් පහත වැටුණි. වර්ෂය තුළ මෙම අංශයේ ලාභදායීතාව පහත වැටී ඇත්තේ ප්‍රධාන වශයෙන් ඉහළ ගිය අරමුදල් පිරිවැය සහ අක්‍රීය ණය (NPL) වලට එදිරිව ලබා දී ඇති ඉහළ ණය පාඩු ප්‍රතිපාදන හේතුවෙනි. වර්ෂය තුළ මෙම අංශයේ ලාභදායිතාව කෙරෙහි පැවති පීඩනයේ සළකුණු පිළිබිඹු වූයේ වත්කම් මත ප්‍රතිලාභ (ROA) හා කොටස් මත ප්‍රතිලාභ (ROE) වල පහත වැටීම තුළිනි. විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වලට අදාළ අධීක්ෂණ හා නියාමන රාමුව අඛණ්ඩව ශක්තිමත් කරමින් සහ දුර්වල බලපත්‍රලාභී මූල්‍ය සමාගම් යලි පණ ගැන්වීමට හෝ වසා දැමීමට කටයුතු කරමින් මෙම අංශයේ දීර්ඝ කාලීන ගැටළු විසඳීමට කටයුතු කරන ලදි.

“හොඳින් ක්‍රියාත්මක වන මධ්‍යම ප්‍රමාණයේ මූල්‍ය සමාගමක් ලෙස, තවත් ශාඛා විවෘත කිරීම නිවැරදි වර්ධන උපායමාර්ගය වනු ඇත. මෙම වසර තුළ, නව ශාඛා 4 ක් විවෘත කර ඇති අතර, සේවා මධ්‍යස්ථාන 3 ක් නැවත ස්ථානගත කර ඇත.”

සමාගම් කාර්ය සාධනය

සමාලෝචනයට භාජනය වූ වර්ෂය පුරාම දැඩි අරගලයක නිරත වුණු ක්ෂේත්‍රයේ බොහෝ මූල්‍ය සමාගම්වල අවාසනාවන්ත තත්වය සැලකිල්ලට ගැනීමේදී අප සමාගම සිය අවම මට්ටමේදී 22% ක වර්ධනයක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන ජයග්‍රහණයකි. සමස්තයක් වශයෙන්, සමාගමේ කාර්යසාධනය පිළිබඳව මා සෑහීමකට පත්වන අතර එම කාර්ය සාධනයේ ගෞරවය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සපයන ලද ඥානවන්ත උපදෙස් වෙනුවෙනුත්, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය විසින් එම උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙනුත් පිරිනමමි. 2018/19 වර්ෂය ආර්ථිකයට හා සමස්තයක් ලෙස මූල්‍ය සේවා අංශයට පීඩනයක් ගෙන දෙන බවට වූ මුල්ම සංඥාවන් සැලකිල්ලට ගෙන, ණය ලබා දීමේදී සැළකිලිමත් වන්නැයි කාර්ය මණ්ඩලයට උපදෙස් දෙන ලදී. ඒ අතරම, කල්බදු සේවා අපගේ මූලික ව්‍යාපාරය වන බැවින් අප සමාගම සිය මූලික විශේෂඥතාව තුළ ඉහල වර්ධනයක් අත්කර ගැනීම අත්‍යවශ්‍ය වූ බැවින්, අපි ඥාණාන්විත මාවත තෝරාගෙන වත්මන් පාරිභෝගිකයන් අතර උකස් ණය, පරිභෝජන භාණ්ඩ සහ ණය කාඩ්පත් ප්‍රවර්ධනය කිරීම වසරේ ඉතිරි කාලය සඳහා නවතා දැමුවෙමු. මෙය සමාගමේ ඉහළ වර්ධන අනුපාතයන්ට බාධාවක් විය හැකි බව පෙනී ගියද, එය නිසැකවම නිවැරදි පදනම බව සහතික වනු ඇත. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළදී සමාගම සිය නිෂ්පාදන කළඹ තවත් ශාඛා දක්වා ව්‍යාප්ත කළේය. පසුගිය වසරේ ආරම්භ කරන ලද රන් ණය දැනට ශාඛා 14 ක් දක්වා ව්‍යාප්ත කර ඇත. කාලයත් සමඟ සියලුම සිංගර් ෆයිනෑන්ස් ශාඛාවලින් මෙම රන් ණය ලබා ගත හැකි වනු ඇත. මේ දක්වා සමාගමේ ව්‍යාප්තිය විචක්ෂණශීලී එකක් වූ අතර, ප්‍රාග්ධන ආයෝජන සහ මානව සම්පත් පිරිවැය ප්‍රශස්ත කිරීම සඳහා සෑම ශාඛාවක්ම සමතුලිත කිරීමට දිරිමත් කරන ලදි. මධ්‍යම ප්‍රමාණයේ, හොඳින් ක්‍රියාත්මක වන මූල්‍ය සමාගමක් ලෙස, තවත් ශාඛා විවෘත කිරීම නිවැරදි වර්ධන උපාය මාර්ගය වනු ඇත. වර්ෂය තුළ නව ශාඛා 4 ක් විවෘත කරන ලද අතර සේවා මධ්‍යස්ථාන 3 ක් වඩාත් ප්‍රමුඛ ස්ථානයන් කරා ගෙන යන ලදී. අතීතයේ දී, සිංගර් ෆයිනෑන්ස් අලෙවිසැල් සමහරක් සිංගර් ශ්‍රී ලංකා වෙළඳසැල්වල පිහිටා තිබූ අතර ඒවා බොහෝ විට නොසලකා හැරුණු අතර ඒවාට ප්‍රවේශ විය හැකි වූයේ ප්‍රදර්ශනාගාරය වෙතට පැමිණෙන ගනුදෙනුකරුවන්ට පමණි. දැන් තනි ශාඛා ලෙස ස්ථානගත කර ඇති සිංගර් ෆයිනෑන්ස් අලෙවිසැල් සුවිශේෂී අනන්‍යතාවයක් භුක්ති විඳින අතර පාරිභෝගික අවශ්‍යතා වඩාත් සමීපව සපුරාලයි. මෙම වසරේ අග භාගයේදී කොළඹ අංක 498, ආර්. ඒ. ඩි මෙල් මාවත, කොළඹ 03 හි ප්‍රධාන කාර්යාලයක් පිහිටුවා ආයතනික සන්නාමය සඳහා වැඩි දෘශ්‍යතාවක් ලබා ගන්නා ලදි. ඉදිරියේදි, සන්නම්කරණය සහ ශාඛා මගින් සිංගර් ෆයිනෑන්ස් ස්ථානගත කිරීම ශක්තිමත් කිරීම සඳහා ගතික උපාය මාර්ග සකස් කෙරෙමින් පවතී. රන් ණය දියත් කිරීම සඳහා කරන ලද ආයෝජන සහ ශාඛා අලුත්වැඩියා කිරීම සඳහා කරන ලද ප්‍රාග්ධන ආයෝජනය නිසාවෙන් මෙම වසර තුළ අපගේ ලාභදායීතාව මඳක් අඩු වී ඇත. කෙසේ වෙතත් අනාගත වර්ධනය ළඟා කර ගැනීමේ අරමුණින් ඉදිරි මාසවලදී මෙම ආයෝජනවලින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අපි අපේක්ෂා කරමු. ණය කාඩ්පත් මෙහෙයුම යම් අනුකූලතා ගැටළු වලට මුහුණ දී ඇති හෙයින් ඉදිරි අනාගතය සඳහා එහි මෙහෙයුම් කටයුතු අවම කිරීමට තීරණය කරන ලදී.

ඉදිරි දැක්ම

මෙම වර්ෂය තුළ අවධානය යොමු වූයේ සමාගමේ සම්පත් ප්‍රශස්ත කිරීම සඳහා ය. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ පසුබෑමකට ලක් වූ සංචාරක හා ඉදිකිරීම් යන ප්‍රධාන අංශ දෙක 2019 දී වේගවත් වර්ධනයක් අත්කරගනු ඇතැයි අපි අපේක්ෂා කරන අතර, ඊළඟ මූල්‍ය වර්ෂයේ පළමු භාගය තවදුරටත් අභියෝගාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ අපගේ ශක්තිමත් ක්‍රියාකාරිත්වය සමරන අතර ම, තැන්පතු ලබා ගැනීම වැනි ශක්තිමත් කළ යුතු දුර්වල අංශ වෙත ඉහළ සැලසුම්කරණයක් සහ පූර්ව විචාරී ස්ථාවරයක් අවශ්‍ය වන බව සමාගම අවබෝධ කරගෙන ඇත. වාහන ආනයනය සීමාකිරීම සහ මූල්‍ය සමාගම් වල කල්බදු සේවා වෙත නිරාවරණය වීම මත තීරුබදු සහ සීමාකිරීම් පැණවීම ඇතුළු අනාගත වර්ධනයට ඇති බාධාවන් පෙර වර්ෂයට සමානව ම පවතී. අගයෙන් වඩාත් ඉහළ කල්බදු ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම බාධකය මඟහරවා ගැනීමට සමාගම සැලසුම් කරයි. ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට මෙන්ම ක්ෂේත්‍රයේ අනෙකුත් සම ආයතනවලට වඩා අපගේ අක්‍රීය ණය බෙහෙවින් අවම බව සඳහන් කිරීමට මම කැමැත්තෙමි. දූරදර්ශී කළමනාකරණයත්, වරක් භාවිත කළ වාහන හා කුඩා වාහන වෙළඳපොළ කෙරෙහි සමාගමේ අවධානය යොමු වීමත් නිසා සිංගර් ෆයිනෑන්ස් සමස්තයක් වශයෙන් ආර්ථික පසුබෑමෙන් ආරක්ෂා විණි.

සමාගමේ ස්ථාවර තැන්පතු, රන් ණය සහ ශීඝ්‍ර ව වර්ධනය වීමට සූදානම් ව්‍යාපාර කටයුතු සමඟ සමාගම විකාශනය වෙමින් හා වර්ධනය වෙමින් යන ආකාරය ගැන මම සතුටු වෙමි. විශාල වෙළඳපොල කොටසකට හිමිකම් කීම සඳහා ගතික අනාගත වර්ධන උපාය මාර්ගයක් අප විසින් සකස් කරගෙන ඇති බව සිංගර් ෆයිනෑන්ස් සතු කුසලතා සහ අත්දැකීම් සමුදාය සහතික කර ඇත. රන් ණය සැපයුමට නායකත්වය දීම සඳහා නව කාර්ය මණ්ඩලයක් බඳවා ගත් අතර සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ ඔවුන් විසින් සමාගමේ කාර්යසාධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. මෙහෙයුම් විශිෂ්ඨත්වය ඉහළ නැංවීම වෙනුවෙන් කාර්ය මණ්ඩලය පුහුණු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීමට සමාගම කැපවී සිටී. සිංගර් ෆයිනෑන්ස් වෙත දැන් මව්පිය දෙපාර්ශ්වයක්ම සිටින අතර, එම සිංගර් (ශ්‍රී ලංකා) සහ හේලීස් පීඑල්සී යන කණ්ඩායම් දෙකම ශ්‍රී ලංකාවේ ආයතනික අංශයේ ඉහළින් ම ස්ථානගත ව ඇත. ස්වභාවයෙන් ම, නැගී එන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා අපි ඒකාබද්ධ සමයෝගීතාවන් මත දිගටම කටයුතු කරන්නෙමු. එලෙස කණ්ඩායම් සමයෝගීතාවන් මතින් දිවෙන අතරතුර ම, පුළුල් පරාසයක විහිදීමට හා තමන් වෙත වෙන ම අනන්‍යතාවයක් නිර්මාණය කරගැනීමට ඇති අවස්ථාවන් ද සිංගර් ෆයිනෑන්ස් ස්වාධීන ව ගවේෂණය කරයි. තම ගනුදෙනුකරුවන් සහ තැන්පත්කරුවන් පෝෂණය කරන සහ කොටස් හිමියන්ට ප්‍රමාණවත් ප්‍රතිලාභ ලබා දෙන වගකිවයුතු මූල්‍ය විසඳුම් සැපයුම්කරුවෙකු වශයෙන් තම ස්ථානගත වීම ශක්තිමත් කිරීමට සමාගම අපේක්ෂා කරයි. මව් සමාගම් දෙක විසින් ස්ථාපනය කර ඇති දැඩි යහපාලන මාර්ගෝපදේශවල ප්‍රතිඵලයක් වශයෙන් සිංගර් ෆයිනෑන්ස් විසින් ඉහළම ආයතනික පාලන ප්‍රමිතීන් පවත්වාගෙන යනු ලබයි.

ස්තූතිය

මගේ සමාලෝචනයේදී සමාගමේ ක්‍රියාකාරිත්වය විස්තර කිරීමෙන් පසුව, ඉතිරිව ඇත්තේ මණ්ඩලයේ මගේ සගයන් දක්වන සහාය සහ සහයෝගය අගය කිරීමයි. සමාගම ආරම්භයේ සිට වසර 14 ක් සේවය කර සිංගර් ෆයිනෑන්ස් වෙතින් විශ්‍රාම ගත් හිටපු ප්‍රධාන විධායක නිලධාරී ආර්. එස්. විජේවීර මහතාට මගේ හද පිරි ප්‍රණාමය දැක්වීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. මම ඔහුගේ සියලු අනාගත උත්සාහයන් වෙනුවෙන් සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සිංගර් ෆයිනෑන්ස් වෙත දැක්වූ දායකත්වය වෙනුවෙන් හිටපු සමූහ ප්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා වෙත ද මාගේ ස්තූතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය අභියෝගාත්මක අවස්ථාවන්හි දී වර්ධනයට දායක වීමෙන් සමාගමෙහි සාර්ථකත්වය ළඟා කර ගැනීමට ඇති ඔවුන්ගේ ආශාව ප්‍රදර්ශනය කර ඇත. සමාගමේ කොටස් හිමියන්ගේ නොසැලෙන සහයෝගය වෙනුවෙන් මාගේ ස්තූතිය ප්‍රකාශ කරන අතර ම නිර්මාණය කිරීම, විකාශනය වීම සහ වර්ධනය වීම සඳහා වන අපගේ පොරොන්දු ඉටු කිරීමට අපට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය තැබීම ගැන කොටස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ද ස්තූතිවන්ත වෙමි.

අරවින්ද පෙරේරා
සභාපති – සිංගර් ෆයිනෑන්ස් (ලංකා) පීඑල්සී

සමූහ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ සමාලෝචනය

“සිංගර් ෆයිනෑන්ස් විසින් අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය අතින් වසරින් වසර (YOY) වර්ධනය වෙමින් විශිෂ්ඨ කාර්යසාධන මට්ටම් වාර්තා කරන ලදි.

සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ දළ ආදායම සහ ශුද්ධ ලාභය යන දෙකෙහිම ඔබේ සමාගම හොඳ කාර්ය සාධනයක් සහ විශිෂ්ඨ වර්ධනයක් වාර්තා කර ඇති බව සඳහන් කරන්නට ලැබීම මට සතුටට කරුණකි. ප්‍රධාන වශයෙන් වාහන ආනයනය පාලනය කිරීමට ගනු ලැබූ කර්මාන්ත අත්දැකීම් ආශ්‍රිත ක්‍රියාමාර්ග නිසා ක්ෂේත්‍රයේ ණය වර්ධනයේ හැකිලීමක් ඇතිවුණු අභියෝගාත්මක හා ඉහළ තරඟකාරී වෙළඳපොලක, දළ ආදායමේ 26% ක වර්ධනයක් සහ ශුද්ධ ලාභයේ ආසන්න වශයෙන් 22% ක වර්ධනයක් යනු සාමාන්‍ය වර්ධන අගයන්ට වඩා ඉහළ අගයකි.

උපායමාර්ග හා කාර්ය සාධනය

සිංගර් ෆයිනෑන්ස් විසින් අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය අතින් වසරින් වසර (YOY) වර්ධනය වෙමින් විශිෂ්ඨ කාර්යසාධන මට්ටම් වාර්තා කරන ලදි. දළ ආදායම 26% කින් වර්ධනය වී රු. බිලියන 3.8 කට ළඟා වුණු අතර ශුද්ධ ලාභය 22% කින් වර්ධනය වී රු. මිලියන 540 කට ළඟා විණි.

අලුතින් හඳුන්වා දුන් ණය ආපසු ගෙවීමේ බද්ද සඳහා රු. මිලියන 48 ක් සහ SFLRS-9 යටතේ ණය හානිය සඳහා මිලියන 35 ක් අමතරව ගිණුම්ගත කිරීමෙන් අනතුරුව සමාගම ලාභදායීතාවෙන් ඉහළ ගිය බව සඳහන් කිරීමට අවශ්‍යය. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ ණය හා අත්තිකාරම් 24% කින් වර්ධනය වී රු. බිලියන 17.8 ක් දක්වාත්, තැන්පතු 13.8% කින් වර්ධනය වී රු. බිලියන 6 ක් දක්වාත්, ශුද්ධ පොලී ආන්තිකය 26% කින් වර්ධනය වී රු. බිලියන 2.1 ක් දක්වාත් ළඟා විණි. අපගේ ස්ථාවරත්වය පිළිබිඹු කරමින් සිංගර් ෆයිනෑන්ස් විසින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 14.08% ක් පවත්වා ගෙන යන ලදි.

සමාගම විසින් වසර තුළදී නව ශාඛා විවෘත කිරීම් 4 ක්, කවුළු ස්ථාන විවෘත කිරීම් 3 ක් සහ එක් පවත්නා ශාඛාවක් ගනුදෙනුකරුවන් සඳහා ඉඩකඩ සහිත සහ පහසු ස්ථානයකට ගෙන යාමක් හරහා වේගවත් භූගෝලීය ව්‍යාප්ති උපාය මාර්ගයක් අනුගමනය කරන ලදී. මෙම වසර තුළ විවෘත කරන ලද ඉහත සඳහන් ස්ථාන 8 න් නව සංඛ්‍යාත්මක වර්ධනයක් වාර්තා වී ඇති බව අපට දැනටමත් පැහැදිළි ය. සිංගර් ශ්‍රී ලංකා පරිශ්‍රය තුළම පවත්වාගෙන ගිය සිංගර් ෆයිනෑන්ස් හි ප්‍රධාන කාර්යාලය මෙම වර්ෂය තුළදී තමන්ගේ ම ප්‍රධාන කාර්යාලයකට මාරු වූ අතර එමඟින් ස්වාධීන මූල්‍ය සමාගමක් ලෙස ශක්තිමත් වෙළඳ නාම අනන්‍යතාවයක් සහ දෘශ්‍යතාවයක් ඇති විය.

ඉතා කෙටි කාලයක් තුළ සිංගර් ෆයිනෑන්ස් හි ස්ථාන 14 කදී රන් ණය ලබා දීම ඇරඹීමට හැකි වූ අතර ඉන් බහුතරය අපේක්ෂිත මට්ටමේ කාර්ය සාධනයක් පෙන්නුම් කරන බවද සඳහන් කළ යුතුය. රන් ණය මෙහෙයුමක් ආරම්භ කිරීම සඳහා යටිතල පහසුකම් සහ මානව සම්පත ආශ්‍රිත නිශ්චිත ආයෝජනයක් අවශ්‍ය වේ. මෙහෙයුම් හා පරිපාලන පිරිවැය තුළ දැකිය හැකි ඇතැම් සංඛ්‍යත්මක වර්ධනයන් රන් ණය මෙහෙයුම් වෙනුවෙන් කළ ආයෝජන හේතුවෙන් වන අතර, මෙම ආයෝජනවල ලාභාංශ ඉදිරි මූල්‍ය වර්ෂයේදී ලද හැකි වනු ඇතැයි අපට විශ්වාස ය.

සිංගර් ෆයිනෑන්ස් විසින් නොකඩවා පසුගිය වසර 4 ක කාලය පුරාම ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටමට වඩා අඩු අක්‍රීය අත්තිකාරම් (NPA)අගයක් ප්‍රදර්ශනය කරන ලදි. අයකර ගැනීම් කළමනාකරණයෙහි සමාගම සතු ශක්තිය, එහි ණය ක්‍රියාවලීන්ගේ ඵලදායීතාව සහ ණය දීර්ඝ කිරීමේ නිසි අනලස්භාවය මෙයින් පෙන්නුම් කෙරේ. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය 3.10% ක පැවති අතර එය කර්මාන්ත සාමාන්‍යයට වඩා අඩුය. ඒ දැඩි බොල් ණය ප්‍රතිපාදන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමකින් සහ සංස්ථිතික ණය කපා හැරීම් ප්‍රමාණයකින් අනතුරුව ය.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොටසකට රු. 1.10 ක ලාභාංශයක් අනුමත කරන ලදි. එය 41%ක ගෙවීම් අනුපාතයක් වන අතර පෙර වර්ෂයේ ගෙවන ලද ලාභාංශයට වඩා කොටසකට 13.4% ක වර්ධනයකි.

සිංගර් සමූහ සහයෝගීතාව

සිංගර් ෆයිනෑන්ස් කල්බදු පහසුකම් ව්‍යාපාරයේ ප්‍රමුඛයෙකු බවට පත් ව ඇති අතර එහි ආදායමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණය කල්බදු සේවා, රන් ණය සහ වෙනත් ණය කාණ්ඩ වලින් උපයනු ලබයි. කෙසේ වෙතත්, සිංගර් මෙගා සඳහා මුදල් සැපයීම, සිංගර් ශ්‍රී ලංකා ශාඛා කළමනාකාරීත්වය විසින් සිදුකරන ලද විශාල සමූහ අලෙවිකිරීම් වලට මුදල් සැපයීම, සමූහයේ සැපයුම්කරුවන්ගේ ඉන්වොයිසි සාධකකරණයට මුදල් සැපයීම වැනි ඇතැම් සමයෝගී මූල්‍යකරණයන් වලදී සිංගර් ෆයිනෑන්ස් සහාය වනු ලබයි. මෙම ව්‍යාපාරික අවස්ථා හරහා සිංගර් ෆයිනෑන්ස් වෙත ප්‍රතිලාභයෙන් ඉහළ, අවදානමෙන් අඩු මූල්‍යකරණ අවස්ථා සම්පාදනය කරන අතර සංවිධානයට සහ එහි කොටස් හිමියන්ට වටිනාකමක් එක් කරයි.

සිංගර් සමූහය හේලීස් පීඑල්සී හි කොටසක් වීමත් සමඟ අපගේ උපායමාර්ගික දිශාගතවීම මේ වනවිට ස්වාධීන හා ශක්තිමත් මූල්‍ය සමාගමක් ලෙස වඩාත් ශක්තිමත් ආයතනික ස්ථානගත කිරීමක් නිර්මාණය කරගෙන තිබේ. ව්‍යාපාරයේ සැබෑ විභවතාව කරා ළඟාවීම සඳහා වන අපගේ පරමාර්ථය ලුහුබැඳීමට මින් අපට හැකියාව ලැබෙනු ඇත. සිංගර් ශ්‍රී ලංකා සහ කණ්ඩායම මෙම උපායමාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටින අතර ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ සහාය ලබා දෙනු ඇත. ඉදිරි වසරවලදීත් සමූහය දිගින් දිගටම ශක්තියේ ප්‍රභවයක් ව පවතිනු ඇත. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ සිංගර් ෆයිනෑන්ස් ස්වාධීනව ණය ප්‍රාග්ධනය ඉහළ නැංවීම හා වේගවත්ව ස්ථාවර තැන්පතු එක්‍ රැස් කිරීම තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කරගෙන ඇත.

අපගේ මිනිසුන් පිළිබඳ ප්‍රතිපත්තිය

සේවා සංවිධානයක් ලෙස අප වටිනාම වත්කම වන අපගේ කාර්ය මණ්ඩලය සංවර්ධනය කිරීම කෙරෙහි අපි සැලකිය යුතු අවධානයක් යොමු කරන්නෙමු. අප විසින් සපයනු ලබන සේවා ගුණාත්මකභාවය සැබැවින්ම කාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය නියෝජනය කරන බව අපි තරයේ විශ්වාස කරමු. වර්ෂය තුළ අපි අවධානය යොමු කළේ සමාගම තුළ සහයෝගී සහ ඒකාබද්ධ කණ්ඩායම් සංස්කෘතියක් ඇති කිරීම සඳහා ධාරිතාව ගොඩනැගීම, හැකියාවන් වර්ධනය කිරීම සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ය.

පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය

සිංගර් ශ්‍රී ලංකා අඛණ්ඩව 13 වන වරටත් වසරේ ජනතා සන්නාම සම්මානය දිනා ගත් අතර එය පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රමිතීන් සම්බන්ධයෙන් එහි වන කැපවීම පිළිබිඹු කරයි. සමූහයේ නව උපායමාර්ගික විධානයන්හි කොටසක් ලෙස, පාරිභෝගික සත්කාර හා පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණයේ වඩාත් ඉහළ ප්‍රධාන කාර්ය සාධන දර්ශක අගයන් වෙත ළඟා වීමට අප සමූහ ව්‍යාපාරය යොමු ව ඇත. සමූහයේ ප්‍රධාන අනුබද්ධිත ආයතනයක් වශයෙන් සිංගර් ෆයිනෑන්ස් අපගේ ගනුදෙනුකරුවන් හා ප්‍රජාව වෙත වන අපගේ සාමූහික වගකීම පිළිබඳව සමූහ ව්‍යාපාරයේ දැනුවත්බාවය තහවුරු කරමින් පාරිභෝගික කේන්ද්‍රීයතාව මත එම අවධාරණය ම පවත්වා ගනියි.

ඉදිරි ගමන

ඊළඟ වසර සඳහා සමූහයේ උපායමාර්ගික අවධානය යොමු කෙරෙන ප්‍රධානතම කරුණක් වන්නේ සැලකිය යුතු මට්ටමක පවතින අකාර්යක්ෂම වියදම් ඉවත් කිරීමට කටයුතු කිරීමයි. වඩාත් හොඳ ප්‍රතිලාභ ලබා දෙන මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් වල මෙම ඉතිරිකිරීම් ආයෝජනය කිරීමට අපට මින් හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

වෙළඳපොල වර්ධනයන්ට ගැළපෙන ලෙස අපගේ වටිනාකම් ප්‍රස්තුතය අනුවර්තනය කරමින් පූර්ව විචාරී ලෙස වෙනස් වීමට අප පොළඹවන අපගේ මෙහෙයුම් සැලසුමේ වේගවත් වර්ධනයන් පිළිබඳව අප දැනුවත්වී සිටිමු. මෙම වේගවත් වර්ධනයන් සමඟ ඉදිරියට යාමට තාක්‍ෂණය ප්‍රධාන කාරකයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. අපගේ සේවා පරාමිතීන් වැඩි දියුණු කිරීම සඳහා ජාලගත ණය ඇගයීම් හා ඩිජිටල්කරණ මෙහෙයුම් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙමු. අප විසින් සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළදී, ඩිජිටල් සබුද්ධිමත්භාවයට නතු වුණු පාරිභෝගික කොටස් සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වෙමින් සමාජ මාධ්‍ය තුළ අපගේ නියෝජනය වැඩිදියුණු කරගෙන ඇත.

අපගේ රන් ණය කළඹ පුළුල් කිරීමට දායක වන පරිදි අපගේ ශාඛා ජාලය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීම තුළින් තෝරාගත් ප්‍රධාන නගර හා සෙසු නගර වෙත සිංගර් ෆයිනෑන්ස් හි භූගෝලීය විහිදීම පුළුල් කිරීමේ අවශ්‍යතාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගෙන ඇත.

අගය කිරීම

විශිෂ්ඨ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනයක් වාර්තා කිරීමට අපට දායක වූ ප්‍රධාන විධායක නිලධාරි සහ කළමනාකාරිත්වයේ නායකත්වයෙන් යුත් සිංගර් ෆයිනෑන්ස් කණ්ඩායමට ඔවුන්ගේ දායකත්වය හා කැපවීම පිළිබඳව මාගේ අවංක අගය කිරීම ප්‍රකාෂ කිරීමට කැමැත්තෙමි.

සභාපති අරවින්ද පෙරේරා මහතාට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔවුන්ගේ උපායමාර්ගික දායකත්වය සහ අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් විශේෂ ස්තූතියක් පිරිනමමි. සමාගමෙහි දිගුකාලීන ක්‍රමෝපාය උදෙසා මග පෙන්වීම සහ කැපවීම වෙනුවෙන් සමූහ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා සහ සමූහ සම සභාපති ධම්මික පෙරේරා මහතාට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

සමාගම වසර 15 ක වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම මොහොතේදී, සිංගර් ෆයිනෑන්ස් වෙතින් විශ්‍රාම ගත් ආරම්භක ප්‍රධාන විධායක නිලධාරී ආර්. එස්. විජේවීර මහතා ඉටුකරන ලද සේවය සහ සමාගම ආරම්භයේ සිට දීර්ඝ වසර 14 ක් පුරා ඔහු ලබාදුන් නායකත්වය වෙනුවෙන් සිහිපත් කරන අතර හිටපු සමූහ ප්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා සිංගර් ෆයිනෑන්ස් හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු වශයෙන් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සිහිපත් කර සිටිමි.

අපගේ ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් විසින් අපට ලබා දුන් සහයෝගීතාව මම ප්‍රකාෂ කිරීමට කැමැත්තෙමි. තවද, මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන අධීක්ෂණ අධ්‍යක්ෂ සහ ඔහුගේ නිලධාරීන්, විනිමය පාලක, සාමාන්‍යාධිකාරී හා ණය තොරතුරු කාර්යාංශයේ කාර්ය මණ්ඩලය විසින් අපට ලබා දුන් මග පෙන්වීම සහ සහයෝගය පිළිබඳව අපගේ අවංක ස්තූතිය අපි සටහන් කරමු.

මහේෂ් විජේවර්ධන
සමූහ ප්‍රධාන විධායක නිලධාරී

සිංගර් ෆයිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ සමාලෝචනය

“සමාගමේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය වසරින් වසර (YOY) 22% කින් වර්ධනය වී රු. මිලියන 542ක් දක්වා ළඟා වූ බව අනිවාර්යයෙන් ම මම දැනුම් දෙන්නේ ඉමහත් සංතෝෂයෙනි.”

ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මගේ පළමු වසර තුළ ඔබේ සමාගමේ ක්‍රියාකාරිත්වය සහ අනාගත දැක්ම පිළිබඳව මාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ලැබීම ඉතා සතුටට කරුණක් හා වරප්‍රසාදයක් වශයෙන් සළකමි. වෙළඳපොල තුළ මූල්‍ය විසඳුම් ලබා දීමේ සාර්ථක වසර 15 ක් සමරන බැවින් 2019 සමාගමට සුවිශේෂී වසරකි. සිංගර් ෆයිනෑන්ස් ක්‍රමානුකූල ව හා ශක්තිමත් ව වර්ධනය වී ඇති අතර අද වන විට මුළු වත්කම් පදනම රු. බිලියන 20ක් සහිත ව කර්මාන්තය තුළ ප්‍රධාන භූමිකාවක් හොබවනු ලබයි. ආචාරධාර්මික ව්‍යාපාරික වටිනාකම් සහ ආයතනික පාලන පිළිවෙත් ආරක්ෂා කිරීම සඳහා වන නොපසුබට කැපවීම තුළින් බොහෝ ගෞරවාදරයට ලක්වුණු මූල්‍ය සමාගමක් වශයෙන් කර්මාන්තය තුළ විශ්වාසය දිනාගැනීමට අපි සමත්ව සිටිමු.

ආර්ථික හා කර්මාන්ත දළ විශ්ලේෂණය

ශ්‍රී ලංකා ආර්ථිකය 2018 සඳහා අපේක්ෂිත වේගයට වඩා අඩු වේගයකින් 3.2% ක වර්ධනය වාර්තා කර ඇත. කෘෂිකාර්මික කටයුතුවල ප්‍රකෘතියක් දක්නට ලැබුණද, මූලික වශයෙන් ඉදිකිරීම් කටයුතුවල අඩුවීම හේතුවෙන් ඇතිවුණු කාර්මික අංශයේ හැකිලීමක් වර්ධනයේ මන්දගාමී වීමට හේතු විය.

නියාමක විසින් පනවන ලද ණය හැකිලීමේ පියවර වශයෙන් ණයට වටිනාකම් අනුපාතයන් (LTV) මත දැඩි මාර්ගෝපදේශ පැනවීම ව්‍යාපාර වර්ධනයට උපකාරී නොවූ අතර, පුළුල් දෘෂ්ඨිකෝණයකින් ගත් කල මෙම මාර්ගෝපදේශ ණය ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය. සමස්තයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කර්මාන්තයේ නියාමන පාලනයන් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර, නිෂ්චිතව ම මූල්‍ය සේවා කර්මාන්තයේ වඩාත් ස්ථාවර දැක්මක් කරා මෙහෙයවන නිවැරදි පියවරයන් වශයෙන් මම ඒවා පිළිගනිමි.

2018/19 වර්ෂය අවිවාදයෙන් ම බොහෝ දෙනෙකුට දුෂ්කර වසරක් වූ අතර, සියලුම කර්මාන්තවලට නොවුණද, මෙම තත්වය මධ්‍යයේ, කෘෂිකර්මාන්තයට දිවයිනේ ප්‍රධාන ප්‍රදේශවල ප්‍රමාණවත් වර්ෂාපතනය ආශීර්වාදයක් වුණු අතර එය ඇත්ත වශයෙන්ම අභියෝග රාශියක් මධ්‍යයේ මතු වූ “රිදී රේඛාවක්” විය. කෙසේ වෙතත්, පොහොසත් අස්වැන්නකින් ලැබෙන සමස්ත ලාභාංශ භුක්ති විඳීමට නොහැකි වූයේ, මෙම ප්‍රීති ප්‍රමෝදයෙන් නොබෝ කලකට පසු ම කෘෂිකාර්මික අංශයට, පෙර වර්ෂවල නියඟ හෝ ගංවතුර තත්ත්වයන් ම යළිත් ඇති වූ හෙයිනි. එහි ප්‍රතිඵලය වූයේ ඉපැයීම්වල කොටසක් පැරණි ණය පියවීම සඳහා යොදා ගැනීමට සිදු වීමයි.

සමාගමෙහි කාර්යසාධනය

සමාගමේ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය වසරින් වසර (YOY) 22% කින් වර්ධනය වී රු. මිලියන 542ක් දක්වා ළඟා වූ බව අනිවාර්යයෙන් ම මම දැනුම් දෙන්නේ ඉමහත් සංතෝෂයෙනි. මෙය සන්ධිස්ථානයක් වන අතර, පහළම කාර්ය සාධනයේ දී අපි රුපියල් බිලියන භාගයක් ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය විය. පොලී ආදායමේ කැපී පෙනෙන වර්ධනය වසරින් වසර 26.7% කින් වර්ධනය වී රු. බිලියන 3.8 කට ළඟාවීම හා ගාස්තු හා කොමිස් ආදායම 34% කින් වර්ධනය වී රු. මිලියන 237කට ළඟාවීම සමාගමේ සමස්ත කාර්යසාධනය වෙත සැලකිය යුතු දායකත්වයක් සපයන ලදි. සමාලෝචනයට භාජනය වූ වර්ෂය ආර්ථිකය හා සබැඳි බාහිර සහාය අනුව සුපිරි වර්ෂයක් ලෙස හැඳින්විය නොහැකිය. පොලිය වැඩිවීම හා ණය අයකර ගැනීමේ බද්ද පැනවීම වැනි සාධක වර්ධනයට බාධා කරන සෘජු විචල්‍යයන් විය. අබලතා ගාස්තු සඳහා වන දීමනා 58.7% කින් වැඩිවී රු. මිලියන 282ක් දක්වා වැඩිවීමෙන් දුෂ්කර ආර්ථික තත්වයන් මධ්‍යයේ ගනුදෙනුකරුවන්ගේ ද්‍රවශීලතා තත්ත්වයන් පසුබෑමට පටන් ගැනීම නිසා බාහිර මෙහෙයුම් පරිසරයට එය විශාල වශයෙන් බලපාන ලදි. පොලී වියදම වසරින් වසර 27.8% කින් වැඩිවී රු. බිලියන 1.6ක් දක්වා පැමිණීම ණයට ගත් අනුපාත මෙන්ම ප්‍රමාණ ඉහළ යාමට බලපාන ලදි. ශාඛා ව්‍යාප්තිය හා මෘදුකාංග සංවර්ධනය සඳහා වන වියදම් වළක්වා, මූලික ව්‍යාපාරය සඳහා අවධානය යොමු කිරීම, පසුකාලීන වර්ධනය සඳහා මුළුමනින්ම හේතු විය. පිරිස් වැය ප්‍රමාණය 31% කින් දෘශ්‍යමානව වර්ධනය වී රු. මිලියන 480 කට ළඟාවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කාර්ය මණ්ඩලය 129 සිට 518 දක්වා වැඩිවීමෙනි. නව එකතු කිරීම් වලින් 80% ක් බඳවා ගනු ලැබුවේ සෘජු ආදායම් උත්පාදන මෙහෙයුම් සඳහා සහ ශාඛා ව්‍යාප්තියට සහාය වීම සඳහා ය. පරිපාලන හා විකුණුම් වියදම් 29% කින් වර්ධනය වී රු. මිලියන 698 ක් දක්වා ළඟාවූ අතර මෙම වැඩිවීම ව්‍යාපාරික ක්‍රියාකාරකම් පුළුල් කිරීම සහ රන් ණය මෙහෙයුම් ආරම්භ කිරීම හේතුවෙන් ඇතිවූවක් විය. සමස්ත පිරිවැය අයවැයගත මට්ටමට වඩා අඩු බවත්, හොඳ මූල්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අයවැය ප්‍රතිපාදන මත දැඩි පාලනයන් අනුගමනය කිරීම ප්‍රධාන දායක සාධකයක් වූ බවත් කළමනාකාරීත්වය සහතික කරන ලදි.

සිංගර් ෆයිනෑන්ස් විසින් හොරණ, ගම්පොළ සහ කෑගල්ලේ නව ශාඛා විවෘත කරන ලද අතර කුරුණෑගල දෙවන ශාඛාවක් ද විවෘත කර අපගේ මාතර ශාඛාව දක්ෂිණ කේන්ද්‍රයේ වඩාත් දෘශ්‍යමාන හා ඉඩකඩ සහිත ස්ථානයකට ගෙන යන ලදී. ආක්‍රමණශීලී වර්ධන සැලසුම් වලට අනුකූලව, සමාගම විසින් මව් සමාගම්වල ස්ථිර පාරිභෝගික අලෙවිසැල් තුළ පිහිටි පානදුර, වැල්ලවත්ත සහ වවුනියා සේවා කවුළු වඩාත් ඉඩකඩ සහිත, දෘශ්‍යමාන සහ පාරිභෝගිකයින්ට පහසු ස්ථාන වෙත මාරු කරන ලදි. තවද, මෙම සේවා කවුළු තුනට මුල්‍ය ශාඛාවක් ලෙස කටයුතු කිරීම සඳහා අවසර පතා ශ්‍රී ලංකා මහ බැංකුවට ඉල්ලුම් කර ඇත්තෙමු. පුළුල් සේවා ප්‍රමිතීන්ගේ සහාය සහිත ව වැඩිදියුණු කළ මෙහෙයුම් හැකියාවන් හා විචිත්‍රවත් දෘශ්‍යමාන වෙළඳ නාමකරණයන් සමඟින් පැහැදිලිව ම, ඉහත සඳහන් කළ නව ස්ථාන අට ව්‍යාපාර වර්ධනය ධාරිතාව අතින් පුළුල් කරනු ඇත. අපගේ රන් ණය ව්‍යාපාරය ස්ථාන 14 ක් දක්වා ව්‍යාප්ත කර ඇති අතර, සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ රන් ණය ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා කැපවූ අවධානයක් යොමු වී තිබීම සතුටට කරුණකි. එමෙන්ම, මෙම නව නිෂ්පාදනය එළිදැක්වූ වේගය සහ එය අත්කර ගත් වර්ධනය පිළිබඳ මම සතුටට පත්වෙමි. කල්බදු පහසුකම් වලට පසුව දෙවන විශාලතම කළඹ බවට රන් ණය ඉතා ඉක්මනින් පත්වනු ඇත. සිංගර් ෆයිනෑන්ස් හි අක්‍රීය වත්කම් අනුපාතය මූල්‍ය වර්ෂය අවසන් වන විට 3.10% ක් වූ අතර එය 2018 දෙසැම්බර් අවසානය වන විට කර්මාන්ත මට්ටම වූ 7.7% ට වඩා බොහෝ පහළ මට්ටමක් විය.

සේවය කිරීමට විශිෂ්ඨ ස්ථානයක් – අපගේ සේවක ප්‍රතිපත්තිය

සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළදී ඔබේ සමාගම ශ්‍රී ලංකාව තුල සේවය කිරීමට විශිෂ්ඨ ස්ථානයක් (Great Place to Work in Sri Lanka)’ වශයෙන් සහතික කොට සම්මානයට පාත්‍ර කෙරුණු බවත්, මේ වනවිට තෝරාගත් හොඳම සමාගම් 25 අතරට පැමිණ ඇති බවත් මම ඉමහත් සතුටින් දන්වා සිටිමි. මෙම පිළිගැනීම මඟින් සමාගමෙහි කාර්ය මණ්ඩලයට සාධාරණ ලෙස සැලකීමේ සහ අප සැමට ප්‍රීතිමත් සේවා පරිසරයක් ඇති බව සහතික කරනු ලබන විශිෂ්ඨ සහ සම්පූර්ණ ආයතනික සංස්කෘතියක් ඇති බව පිළිබිඹු වේ.

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සහ හේලීස් පීඑල්සී යන ප්‍රබල මව් සංවිධාන දෙකක පොහොසත් උරුමයෙන් අප ලබන ශක්තිමත් සංස්කෘතික දායාදයට අපි ස්තූතිවන්ත වෙමු. මෙම ශක්තිමත් සබඳතාවෙන් මතුවන ධනාත්මක හැඟීම් මෙම පිළිගැනීම ලබා ගැනීම සඳහා දායක වූ සාධක බවට සැකයක් නැත.

ඉතා විද්‍යාත්මක හා සෘජු පර්යේෂණ මත පදනම්ව හොඳම සංවිධානයන් තෝරා ගන්නා බැවින් සේවය කිරීමට විශිෂ්ඨ ස්ථානයක් ‘ ලෙස පිළිගැනීමට ලක්වීමට අනිවාරියයෙන් යම් පරිශ්‍රමයක් දැරිය යුතුය. කාර්ය මණ්ඩලය කෙරෙහි සහ ඔවුනොවුන් අතර විශ්වසනීයත්වය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය සහ සුහදතාවය යන අංශ ආවරණය වන සවිස්තරාත්මක ප්‍රශ්නාවලියක් සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයටම ලබා දෙන ලදී.

සන්නාම අනන්‍යතාව

වර්ෂය තුළ සිංගර් ෆයිනෑන්ස් සඳහා සන්නාම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. සියුම්, නමුත් නවීන වෙනස්කම් සහිතව, අපගේ නැවුම් ආයතනික අනන්‍යතාව සහිතව නවීකරණය කරන ලද නව ශාඛා ස්ථානවල සියලු මුහුණුවරයන් සමඟින් වඩාත් විචිත්‍රවත් හා වර්ණවත් සන්නාම අනන්‍යතාවයක් වෙළඳ නාමයට හඳුන්වා දෙන ලදී. මෙම නව අනන්‍යතාවය සමාගමේ දැනට පවතින ස්ථානවලට අදියර වශයෙන් හඳුන්වා දෙනු ලැබේ.

වර්ෂය තුළදී සමාගම උපායමාර්ගික වශයෙන් වැදගත් වන කොළඹ 3 හි මධ්‍ය ප්‍රදේශයක පිහිටි මූල්‍ය සේවා සඳහා ආවේණික වූ විශේෂිත ප්‍රධාන කාර්යාලයකට මාරු විය. මෙය මූල්‍ය සේවා කර්මාන්තය තුළ අපගේ පැවැත්ම තවදුරටත් තහවුරු කරමින් සිංගර් ෆයිනෑන්ස් සන්නාමය සඳහා වඩාත් වැඩි දෘශ්‍යතාවයක් ඇති කරනු ඇත.

සමාගම මුද්‍රණ, සමාජ මාධ්‍ය, ගුවන්විදුලිය මෙන්ම සාම්ප්‍රදායික වෙළඳ ප්‍රචාරණ මාධ්‍යයන් යොදා ගනිමින් ද තම සන්නාමයේ මතුවීම වැඩි කරන ලද අතර සිංගර් ෆයිනෑන්ස් සඳහා ශක්තිමත් හා ස්වාධීන ශාඛා අනන්‍යතාවයක් අඛණ්ඩව ගොඩනගනු ඇත. විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් සැපයීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව කළමනාකාරිත්වය විසින් වෙහෙස නොබලා අවධාරණය කරන ලද අතර එය අපව තරගකාරීත්වය තුළ වෙන් කර දක්වන එක් විචල්‍යයක් යැයි අපි විශ්වාස කරමු. පාරිභෝගික සත්කාර සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා කණ්ඩායම් අවධාරණය කිරීම පිළිබඳව ද සමාගමට අවබෝධයක් ඇත.

අනාගත දැක්ම

සිය සැබෑ විභවතාව කරා ළඟාවීමේ අරමුණින් ශාඛා ජාලයේ වේගවත් වර්ධන සැලසුම්ද, කල්බදු සහ රන් ණය ආශ්‍රිත ප්‍රධාන ව්‍යාපාරයේ අලෙවිකරණ ක්‍රියාකාරකම්ද කෙරෙහි සමාගම අවධානය යොමු කරනු ඇත. කඩිනම් වර්ධනයක් කරා ළඟාවීමේදී, කළමනාකරණය බාහිර අවදානම් සාධක ගැන ද සැලකිලිමත් වනු ඇති අතර ආර්ථික සාධක අපේක්ෂා කළ පරිදි වෙනස් නොවන්නේ නම්, එම කඩිනම් බාවයෙන්ම යළිත් පෙළගැසීමේ අවශ්‍යතාව ද අවබෝධ කරගනු ඇත. නව වෙළඳපොලවලට පිවිසීමට හා ශාඛා සහ අලෙවිකරණ කාර්ය මණ්ඩල ව්‍යාප්තිය තුළින් නව ව්‍යාපාර පහසුකම් උත්පාදනය කිරීමට අමතර ව සුරක්ෂිත කල්බදු පහසුකම්වල සාමාන්‍ය ණය ප්‍රමාණය සාධාරණ අනුපාතයකින් වැඩි කිරීම කෙරෙහි ද අපි අවධානය යොමු කරන්නෙමු. වැඩි ධනාත්මක බවක් පිළිබිඹු නොකරන බාහිර පරිසරයක් තුළ සමාගම විසින් අවදානම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව මම විශ්වාස කරමි.

උසස් සේවාවක් ලබා දීමෙන් සිංගර් ෆයිනෑන්ස් අපගේ දක්ෂ කාර්ය මණ්ඩලයේ කුසලතා හා හැකියාවන් මාර්ගයෙන් ග්‍රහණය කරගත හැකි බොහෝ අවස්ථාවන් වෙළඳපොළ තුළ තිබේ. අපගේ කාර්ය මණ්ඩලයේ හැකියාවන් පිළිබඳව මට උපරිම විශ්වාසය ඇති අතර, අප ඉදිරියට එන ඕනෑම අභියෝගයකට ඝෘජුව මුහුණ දීමට අපි සූදානම්ව සිටිමු.

අතීතයේ දී සමාගම ස්ථාවර තැන්පතු වෙනුවෙන් තරඟකාරී මිල ගණන් ඉදිරිපත් කිරීමට පසුබට වූ අතර ඒ වෙනුවට වෙනත් ප්‍රභවයන් හරහා ණය රැස් කිරීමට උනන්දු විය. සමාගමේ නව උපාය මාර්ගයන්ට අනුකූලව සිංගර් ෆයිනෑන්ස් දැන් ස්ථාවර තැන්පතු ව්‍යාපාරයේ තරඟකාරී ක්‍රීඩකයෙකු බවට පත්ව සිටීමත් මෙම අංශය වර්ධනය කිරීම සඳහා සවිස්තරාත්මක සැලසුම් සකස් කර තිබීමත් මට සතුටට කරුණකි. පුළුල් පදනමක ස්ථාවර තැන්පතු බලමුලු ගැන්වීම මූල්‍ය සමාගමකට ප්‍රධාන හා වැදගත් අරමුදල් උපාය මාර්ගයක් බව මම විශ්වාස කරමි.

අපගේ ශක්තිමත් පදනම මත ගොඩනැගීම

සිංගර් ෆයිනෑන්ස් ක්‍රියාත්මක වන්නේ ආචාර ධර්ම හා ආයතනික පාලනය අතින් ඉතා ශක්තිමත් පදනමක් සහිතව ය. අපගේ බඳවා ගැනීමේ තේරීමේදී මෙය පිළිබිඹු කිරීමට සමාගම විශාල උත්සාහයක් දරන අතර, මෙම අගයන් සහ ප්‍රතිපත්තීන් පවත්වාගැනීමේ උරුමය අවසානයේ ඉදිරියට ගෙන යනු ලබන්නේ කාර්ය මණ්ඩලය විසින් බව අපි විශ්වාස කරමු. අපගේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් යහපත් හැසිරීම හැර වෙන කිසිවක් අපි අපේක්ෂා නොකරමු.

අපගේ පදනම සුරක්‍ෂිත ය; අපගේ ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා තත්ත්වයන් ශක්තිමත් ය; ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හා ණය කමිටුව ස්වරූපයෙන් අපගේ අවදානම් මටටම ඉතාමත් උනන්දු හා පළපුරුදු මණ්ඩල අනුකමිටුවක් විසින් හොඳින් අධීක්ෂණය කරනු ලැබේ. එසේ නමුත්, අපි උදාසීන නොවී අඛණ්ඩව ම බාහිර හා අභ්‍යන්තර ව්‍යාපාරික පරිසරයට අනුකූලව අපගේ අවදානම් රාමුව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නෙමු.

තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම්

සමාගම සහ කාර්ය මණ්ඩලය තිරසාර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට කැපවී සිටිති. රැකියා නිර්මාපකයෙකු ලෙස අපි කැප වී සිටින්නේ තෘප්තිමත් හා තිරසාර රැකියා ස්ථාපිත කිරීමට ය. සේවකයෙකු අප හා සම්බන්ධ වූ විට, ඔහු හෝ ඇය සිය හැකියාවන්ගේ පූර්ණත්වය කරා ළඟා වන තෙක් ඔහු හෝ ඇය මග පෙන්වීමෙන් ගොඩනගන බව අපි සහතික කරමු. ඉහළම සදාචාරාත්මක ප්‍රමිතීන් සහිත ගනුදෙනුකරුවන් හා පුළුල් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ ව කටයුතු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ මාර්ගෝපදේශ ද උපදේශන ක්‍රියාවලියට ඇතුළත් වේ. තිරසාර ආයතනයක් ගොඩනැගීමේ පළමු පියවර වලින් එකක් වශයෙන් අප විශ්වාස කරන තමන්ට හොඳින් ම ගැළපෙන මූල්‍ය ප්‍රස්තුත පිළිබඳව අපගේ ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ද අපි කැපවී කටයුතු කරමු. අපි අපගේ ගනුදෙනුකරුවන්, සේවකයින් සහ කොටස් හිමියන් ගැන සොයාබලන අතරම, ඉන් එපිට අපගේ සහාය අවශ්‍ය ලෝකයක් ද පවතී. සංවිධානයක් ලෙස අප අපගේ හැකියාවෙන් උපරිම ලෙස සමාජයට සහාය වීමේ අවශ්‍යතාව පිළිබඳව දැනුම්වත්ව සිටින අතර සැමවිටම ඒ වෙනුවෙන් කැපවී සිටිමු. වසර තුළ සිදු කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය යටතේ 80 සිට 89 දක්වා පිටුවල පිළිබිඹු වේ.

අගය කිරීම

ප්‍රධාන විධායක ධුරය දැරූ මගේ පළමු වසර තුළ මෙම ශ්‍රේෂ්ඨ සංවිධානයට නායකත්වය සැපයීමට ලැබීම භාග්‍යයකි. වසර තුළ අප අත්කර ගත් දේ සාක්ෂාත් කර ගැනීම සඳහා බොහෝ දෙනාගේ ඒකාබද්ධ කුසලතා සහ කැපවීම අවශ්‍ය ය. සභාපති අරවින්ද පෙරේරා මහතාට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔවුන්ගේ උපායමාර්ගික දැක්ම සහ අධීක්ෂණය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙමි. සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, සමූහ සම සභාපති ධම්මික පෙරේරා සහ සමූහ ප්‍රධාන විධායක මහේෂ් විජේවර්ධන යන මහත්වරුන්ගේ මග පෙන්වීම, සහයෝගය සහ දිරිගැන්වීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙමි.

අංශ කිහිපයක් වර්ධනය කිරීමට උද්‍යෝගිමත් හා දක්ෂ කණ්ඩායමක් වෙහෙස මහන්සි වී කඩිනමින් වැඩ කළ අතර වේගවත් වර්ධනයක් ළඟා කරවමින් ඔවුන් අපේක්ෂා කළ වෙනස ඔවුහු භාර ගත්හ. ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමේ සහ සංවිධානයේ සෑම දෙනාගේම අසමසම සහයෝගය මම අනිවාර්යයෙන් ම කෘතඥතාවෙන් හා ප්‍රශංසනීයත්වයෙන් යුතුව අගය කරමි.

සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ සමාගමේ පළමු ප්‍රධාන විධායක නිලධාරී ආර්. එස්. විජේවීර මහතා දීර්ඝ හා කීර්තිමත් වෘත්තීය ඉණිමකින් පසු විශ්‍රාම ගියේය. ඔහු විසින් සපයන ලද මග පෙන්වීම සහ සහයෝගයත්, සමාගමට ඔහු කළ දීර්ඝ කාලීන සේවයත් පිළිබඳව මාගේ අවංක අගය කිරීම ප්‍රකාෂ කිරීමට කැමැත්තෙමි. ඔහුගේ සේවා කාලය තුළ සමාගම ක්‍රමානුකූල ව වර්ධනය වූ අතර බොහෝ වැදගත් සංධිස්ථාන පසුකළේය. සුන්දර විශ්‍රාම ජීවිතයක් උදෙසා විජේවීර මහතාට මම සුබ පතමි. අපගේ මේ අවංක අගය කිරීම, සමාගම වෙනුවෙන් කළ කැපවීම සහ දායකත්වය වෙනුවෙන් සිංගර් මූල්‍ය මණ්ඩලයේ වසර නවයක කාලයක් සේවය කළ හිටපු සමූහ ප්‍රධාන විධායක නිලධාරි අශෝක පීරිස් මහතා වෙත ය.

මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන අධීක්ෂණ අධ්‍යක්ෂ ඇතුළු ඔහුගේ නිලධාරීවරුන්, විනිමය පාලක සහ ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අප වෙත ලබා දුන් මග පෙන්වීම සහ සහයෝගය පිළිබඳව අපගේ අගය කිරීම සටහන් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. අපගේ කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඔවුන්ගේ වටිනා සහයෝගය සහ දායකත්වය වෙනුවෙන් සිහිපත් කිරීමටත්, ඉදිරි වර්ෂවලදීත් සිංගර් ෆයිනෑන්ස් ගමනේ හවුල්කරුවන් ලෙස ඔවුන් දිගටම සම්බන්ධ වනු ඇතැයි යන විශ්වාසය පළකිරීමටත් මම මෙය අවස්ථාවක් කර ගනිමි.

තුෂාන් අමරසූරිය
ප්‍රධාන විධායක නිලධාරී